Tuesday, July 26, 2016

මට හමු වූ ඔහු





විද්‍යා ජෝති සම්මමානය දිනාගත් මහාචාර්ය කේ. කේ. වයි විජේසුන්දර පෙරේරා මහතා සමඟ කළ කථාබහ

”මෝරන වී කරල
නැවෙයි රස වැඩි වන කල ”වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම එය එසේමය.ඔහු එතරම් ම නිහතමානී විද්වතෙකි. සරල සුන්දර පුද්ගලයෙකි. විද්‍යා විෂය ක්ෂේත‍්‍රයෙන් ලැබිය හැකි ඉහළම සම්මානය වන විද්‍යාජෝති ජනාධිපති සම්මානයට ද ඔහු හිමිකම් කියන්නේය. එසේම පසුගියදා ශී‍්‍ර ලංකා  ඉංජිනේරු ආයතනයෙන් ප‍්‍රදානය කරන ලද Eminence in Engeneering සම්මානයට ද ඔහු නිහතමානීව හිමිකම් කීවේය. එපමණක් නොව ඔහුගේ නව නිර්මාණයක් වන smart ceiling fan controller නම් නිර්මාණය සඳහා ද ශී‍්‍ර ලංකා නිපැයුම්කරුවන්ගේ සංගමය විසින් ප‍්‍රදානය කරන ලද සහසක් නිමැවුම් සම්මානයට ද හිමිකම් කියමින් ද, පර්යේෂණ කාර්යයෙන් නව නිපැයුම් ලොවට හදුන්වා දෙමින් ද, අගනා සේවයක් සිදු කරන ඔහු විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ගේ පියෙකි.සහෝදර සහෝදරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක තමා මෙන්ම අනෙක් සහෝදර සහෝදරියන් ද දැයේ දරුවන්ගේ නැණ වඩවන්නෝ වීම ද විශේෂත්වයකි. අද අප හමු වන්නේ මොරටුව විශ්විද්‍යාලයේ කුලපති මහාචාර්ය කේ.කේ. වයි.විජේසුන්දර පෙරේරා මහතාවයි.
1929 නොවැම්බර් 29 වන දින උපත ලද ඔහු ගම්පහ දිස්ති‍්‍රක්කයේ කන්නිමහර නම් සුන්දර ගම පිළිබඳ සිය මතකය අවදි කළේය.
”ඒ කාලේ ගම්පහ අද වගේ් මහා විද්‍යාල තිබුණෙ නෑ. මගේ පාසැල රදාවාන සිංහල විද්‍යාලය. මහගමසේකර ,කේ. ජයතිලක දෙපල මගේ ජේ්‍යෂ්ඨයන්.”
”ඒ කාලේ ඉංග‍්‍රීසි ඉගැන්නුවේ කොළඹ ආනන්ද වගේ පාසැල්වල. තුනේ පන්තිය වෙනකම් විතරයි මට ගමේ පාසලට යන්න ලැබුණේ.”
බුද්ධි පරීක්ෂණයකින් සමත් වීම නිසා ඔහුට ආනන්ද විද්‍යාලයට ඇතුළත් වීම සඳහා ශිෂ්‍යත්වයක් හිමි විය.
නිහඩ බව බිදිමින් ඔහු නැවත සිය ළමා කාලයට පිවිසෙයි.
”ගමේ පාසැලට යන කාලේ අපි කාටවත් සපත්තු තිබුණේ නෑ.”
ඔහුගේ මුව සිනාවකින් සැරසී ඇත.
එකල ආනන්ද විද්‍යාලයට ඇතුළත්වීම අසීරු කරුණක් වීය. එබැවින් මෙවැනි අවස්ථාවක් ලැබිම ඔහු තම ජීවිතයේ හැරවුම් ලක්ෂය බවට පත් කර ගත්තේය. ආනන්ද විද්‍යාලයේදී ද ඔහු දක්ෂ සිසුවෙක් විය. 1949 දී ඔහු ආනන්ද විද්‍යාලයේ දක්ෂතම ශීෂ්‍යයාට හිමි රන් සම්මානය ද දිනා ගත්තේ ය.
”ඒ කාලේ අද වගේ ශිෂ්‍යත්ව විභාග තිබුණෙ නෑ. ඇත්තටම ඒ කාලේ වගේ ඒ කියන්නේ අපි මුහුණ දුන් ආකාරයේ බුද්ධි පරික්ෂණ වර්තමානයෙත් මේ දරුවන්ට තියෙනවා නම් හොඳයි.මොකද දරුවන්ට අද අධ්‍යාපනය පීඩනයක් කරලා තියෙන්නේ.නිර්මාණකරණයට දරුවන්ට යොමු වෙන්න කාලයක් නෑ. එදා අද වගේ ටියුෂන් තිබුණෙ නෑ. මම නම් ඒකට හරිම කැමතියි. ”
 යම් යම් දැ පිළිබඳ තමා තුල වු කුතුහලය තමා විවිධ නිර්මාණ සඳහා පෙලඹවූ ආකාරය ද ඔහු සඳහන් කළේ මෙලෙසිනි.
”මම කුඩා කාලයේදී මං හිතන්නේ මම 5 පන්තියේ දී විතර ජල රෝදයක් නිර්මාණය කළා. ඒක හරිම විනෝද වැඩක් .තවත් පොඩි පොඩි අත්හදා බැලීම් මම ගොඩාක් කලා .මේවායින් අසාර්ථක වීම් සෑහෙන්න වුණා. ඒත් ඒ නිසා මම උත්සාහය අත් හැරියා නම් මම අද මෙතන නැහැ. අනිත් එක තමයි 1940 ගණන්වල රේඩියෝ ව අපට අළුත් දෙයක්. රේඩියෝ ගමේ වැඩි දෙනෙක් සතුව තිබුණෙත් නෑ. ඔය කාලේ මම සරල රේඩියෝවක් නිර්මාණය කළා. ක‍්‍රිස්ල් සෙට් කියලා තමයි ඒකට කිව්වේ. ඒකේ දයෝඩ සඳහා දිය රත්තරං, අංජනං කැට වගේ දේවල් තමයි භාවිත කළේ. වැදගත්ම දේ මේක අහන්න බැටරි අවශ්‍ය නොවීම. හැබැයි ඉතිං උස ඇන්ටනාවක් නම් බදින්න වුණා . ”
ඔහු සිනාසෙමින් කියාගෙන ගියේය.
විශ්වවිද්‍යාලයක කුලපති තනතුර හෙඹවීම තෙක් ඔහු ආ ගමන් මෙඟහි බාධක මෙන්ම දුෂ්කරතා ද පසුකළ ඔහු එදා සිට මේ දක්වා දරා ඇති තනතුරු සංඛ්‍යාව ද විශාලය.
”1950 දී තමයි ඉංජිනේරු පීඨය පටන් ගත්තේ. ඊට කලින් ලන්ඩන් විභාග වලට මරදාන කාර්මික විද්‍යාලයේ මේ විෂය ඉගැන්වීම් කළා. 1949 දී මම ජේ්‍යෂ්ඨ විභාගය ගත්තා. 1950 දී පීඨය පටන් ගත් නිසා විශේෂ විභාගයක් පවත්වලා සමත් වුණ අයව ගත්තා. මමත් සමත් වුණා. ඔය විදියට තමයි මම ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණේ. මුල්ම කණ්ඩායමේ හිටියේ 25 දෙනෙක් විතරයි. ”
විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාර කිරීමෙන් අනතුරුව ඔහු රජයේ විදුලි දෙපාර්තමේන්තුවේ (අද විදුලිබල මණ්ඩලය* විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් වසර 04 ක් පමණ සේවය කර ඇත. ඉන් අනතුරුව ශිෂ්‍යයත්වයක් හිමි වීමෙන් අනතුරුව වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා ඔහටු එංගලන්තයට යාමට සිදු විය.
”විදුලි ඉංජිනේරුවෙක් විදියට සේවය කළ කාලේ දී මට අභියෝගයක් වුණ  විශේෂ දෙයක් තමයි ශීී‍්‍ර පාදස්ථානයට විදුලිය ලබා දිමේ ව්‍යාපෘතිය. මට විතරක් නෙවෙයි අපේ කණ්ඩායමටම . කන්ද මැද කදවුරක් ගහගෙන තමයි අපි වැඩ කළේ. ඒක විශාල වැඩක්. අදත් ශ‍්‍රී පාදස්ථානයේ විදුලිය සැපයෙන්නේ එදා අපේ කණ්ඩායම ඒ කළ කාර්යයයේ ප‍්‍රතිඵලයක් විදියට. ”
ගුරුවරයෙක් ලෙස ඔහු සිය වගකීම් මනාව ඉටු කර ඇත. කටුබැද්ද පළමු ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිතුමා ලෙස කටයුතු කරන සමයේ උද්ඝෝෂණ හා වෙනත් බාධක හමුවේ සිසුන්ගේ අධ්‍යාපනය අඩාල වීමට ඉඩ නොදී විශාල වෑයමක් දරමින් නිවාඩු දිනවල දී පවා ඉගැන්වීම් කටයුතු කරමින් සිය කාර්යය ඉටු කර ඇත. එසේම කොළඹ විශ්වවිද්‍යාලයේ මෙන්ම තවත් විශ්වවිද්‍යාල කීපයක ඉගැන්වීම් කටයුතු සිදු කර ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කරන ලදී. විදුලිබල මණඩලයේ සභාපතිවරයාව සිටි කාලයේ දී සිදු කරන ලද භාරදූර කාර්යයක් පිළිබඳවද ඔහු සිය මතකය අවදි කළේය.
”ඒ කාලේ විදුලිබල මණ්ඩලයේ උපකරණවලට ,කාර්යය පටිපාටියට මේ හැම දේකටම සිංහල වචන තිබුණේ නෑ. නමුත් 1956 සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළාට පස්සේ විදලි බල මණ්ඩලයේ භාවිත කරන සියළුම වචන වලට සිංහල වචන හදන්න  ඕන කියලා දැනුම් දුන්නා.මේ කාර්යයට කමිටුවක් පත් කළා. ඒ කමිටුවට මාවත් ඇතුළත් වෙලා. මේක මට යම් තරමක අභියෝගයක්. මොකද මම ඉගෙන ගත්තේ ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් නිසා. නමුත් මේක නිසා මටත් භාෂාව පිළිබඳ හොඳ දැනුමක් ලැබුණා .මේ කාර්යයයේ දී අරිසෙන් අහුබුදු ,ජී. වී.  එස්. ද සිල්වා වැනි සිංහල භාෂා වියත් පඩිවරු අපට උදව් කළා. ”
ඔහුගේ නිර්මාණ පිළිබඳ විමසීමේදි මෙතෙක් ලොව නිර්මාණය වී නොමැති ආකාරයේ උත්කෘෂ්ට නිර්මාණයක් ඔහු අතින් නිම වී තිබේ. Smart Ceiling Fan controller එම උපකරණය යි.  විදුලි පංකාවක් වේගය හා කාලය තීරණය කර ක‍්‍රියා කරවීමේ හැකියාවක් සහිතව එය නිර්මාණය කර ඇත. ශක්තිය අපතේ නොයන ආකාරයට මෙන්ම කාර්යයක්ෂමව ද ක‍්‍රියා දිරීමේ හැකියාව එය සතුය. මෙම නිර්මාණය සඳහා හොඳම හදුන්වා දීමේ සම්මානය ද ලැබී ඇති බව යට සඳහන් කළෙමු.
තම නිර්මාණකරණය මෙන්ම කුඩා කාලයේ තමා සතු කුතුහලය විසින් විවිධ දේ අත්හදා බැලීම සඳහා තමා මෙහෙයවන ලද බව සදහන් කරන ඔහු වැරදීම යනු සාර්ථක වීමේ හොඳම පියවර බව පැවසුවේ නිර්මාණකරණයේ යෙදී අසාර්ථක වූ පමණින් අධෛර්යයට පත් නොවන ලෙස උපදේශයක් ද ලබා දෙමිනි.
”මම කුඩා කාලයේ දී කරපු දෙයක් මට මතකයි . කේතලයක් ලිපේ තියලා ඒකෙ වතුර නටන  කොට සිදුරෙන් දුම් විදිනවා දැකලා ඇතිනේ. මම ටින් එකක් අරගෙන දුම් විදින පැත්තට ටින් එකක් තිව්වා ඒ වාතයෙන් ටින් එක උඩ යනවා බලන්න. ඒත් ටින් එක උඩ ගියෙ නම් නෑ.මගෙ අත නම් පිච්චුණා. ”
අපට සිනා නොවී සිටීමට නොහැකිය.
ඔහු නැවත කතාව ආරම්භ කළේය.
”නමුත් ඒකෙන් මම ඉගෙන ගත්ත දේ එදා මම ඒ අත්හදා බැලීම නොකළා නම් මට කවදාවත් ලැබෙන්නෑ. ”
එය සැබෑවකි. එතරම් විශාල සම්මාන ප‍්‍රමාණයක හිමිකරුවා වීම ම එම අත්හදා බැලීම්වල සාර්ථකත්වය කියා පායි.
”එතකොට ඔබේ පවුලේ විස්තර මම විමසුවෙමි. ”
”මගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මට දරුවන් සිව් දෙනෙක් සිටිනවා. ඔවුනුත් විවිධ ක්ෂේත‍්‍රවල නියැලිලා ඉන්නවා . ”
අපේ සමුගැනීමේ මොහොත සනිටුහන් කිරීමට පෙර ඔහු විශේෂයෙන් මෙය ද සඳහන් කළේය.
”ළමයෙක් වුණත් වැඩිහිටියෙක් වුණත් යමක් කරන කොට ඒකට රුකුල් දෙන්න. නූතන අධ්‍යාපන රටාවත් එක්ක දරුවන් කාර්යබහුලයි. නමුත් දරුවන්ගේ චින්තනය මරන්න එපා. අත්දැකිමෙන් අවබෝධ කරගැනීමයි ඉතාම වැදගත්. දරුවන්ගේ කුතුහලය නවත්වන්න එපා. ”
 ඒ ආදරණීය වූත් හෘදයංගමවූත් පිළිසඳරක් අවසානයේදී දෙමව්පියන්ට සහ දරුවන්ට විද්වතෙකු, පියෙකු විසින් දෙන ලද පණිවුඩයයි.
ඩබ් .ටී. කලනි සිතාංජලී

No comments:

Post a Comment