Thursday, July 21, 2016

ඔබේ ෆේස්බුක් ගිණුම හෝ ඊමේල් ගිණූම සුරක්ෂිතද



සන්නිවේදනය මූලික මිනිස් අවශ්‍යතාවකි. සන්නිවේදනයෙන් නැතිනම් තොරතුරුවලින් තොරව සමාජ සත්ත්වයෙකු වන මිනිසාට දිවි ගෙවිය නොහැකිය. මේ නිසා තොරතුරු දැන ගැනීමට මිනසා තුළ ඇත්තේ නිස`ග පෙළඹවීමකි. පුවත්පත ,ගුවන්විදුලිය, රූපවාහිනිය පසු කළ නුතන තාක්ෂණ ලෝකය තුළ විශ්වයට ඇත්තේ ඇගිලි තුඩක දුරකි. අන්තර්ජාලය , ෆේස්බුක්,ඊමේල් අද අතැඹුලක් බවට පත්ව ඇතත් ඒවා  භාවිත කිරිමේ දුර්වලතා නිසා ගැටළු රාශියක් මතුව තිබේ.
තොරතුරු බෙදාහදා ගත හැකි, නැතිනම් ලෝකය ඇසුරු කළ හැකි ෆේස්බුක් ,ට්විටර්, ඊමේල් වැනි ගිණුමක් නොමැති අයෙකු සෙවීම අපහසු දෙයක් බවට අද වන විට පත්ව තිබේ. නමුත් ගැටළුව වන්නේ ඔබ ඒවා භාවිත කිරීම නොවේ . භාවිත කරන ආකාරයේය. ෆේස්බුක් මරණ යැයි කියමින් කිසියම් සමාජ ජාලයන්ට බැණ වැදීමට මිනිසුන් පුරුදු වුවද ඔබ බැණ ගත යුත්තේ ඔබටමය.මන්ද  එය හසුරුවන්නේ  ඔබම නිසාවෙනි. ඔබේ ගිණුමේ ආරක්ෂිත බව සකසා ගත යුත්තේ ඔබමය.එසේම අනෙකාගේ පෞද්ගලිකත්වය සුරැුකීමේ වගකීමක් ද ඔබට ඇත. කුමන හෝ සමාජ ජාල ගිණුමක ආරක්ෂාව සලසා ගත යුත්තේ ඔබමය. ඔබ සතු ෆේස්බුක්, ඊමේල්, ට්විටර් ,ලින්ක් ඉන් වැනි ගිණුම් සඳහා ඔබ ආරක්ෂාව යොදා ඇත්තේ නිවැරදි ආකාරයටද? ආරක්ෂාවක් යොදා තිබේදැයි ඔබ දන්නවාද? ගැටළුව මෙයයි. ඔබේ ගිණුම් වංචාකාරී පුද්ගලයන්ට හසු නොකර ඔබේ පෞද්ගලිකත්වය සුරක්ෂිත කර ගැනීමට ඔබ වග බලා ගත යුතුය.
මෙහි පළමු පියවර පාස්වර්ඞ් නැතිනම් මුර පදයක් යොදා තිබීමයි . එසේ මුරපදයක් යොදා තිබූ පමණින්ම ඔබේ ගිණුම සුරක්ෂිත වන්නේ නැත.එය අන් අයට අනුමාන කළ නොහැකි ආකාරයේ මුර පදයක් විය යුතුය. මේ සඳහා ඔබේ පෞද්ගලික නම , හොඳම යහළුවාගේ නම, ජාතික හැදුනුම්පත් අංකය, දුරකථන අංකය හෝ වාහන ලියාපදිංචි අංකය ආදිය නොයෙදීම වඩාත් සුදුසුය. මන්ද ඒවා අනුමාන කර යෙදීමට හැකිවන නිසාය. මුර පදය සඳහා අංක සහ විශේෂ සංකේත යොදා ගැනීම වඩාත් සුදුසුය.( *! වැනි* හොඳ මුරපදයක අංක හෝ සංකේත හෝ අඩු තරමින් 08 ක් වත් තිබිය යුතුය .
saman123 යන මුරපදය දුර්වල මුරපදයකි. මෙය  සැකසුවහොත් එය හොඳ මුරපදයක් බවට පත් කළ හැකිය.
saman යන්නෙහි s සඳහා අංක 05 යොදා a සඳහා අංක 4 යොදා අංක 1 සඳහා ! යෙදීම කල හැකිය. එවිට මෙම මුර පදය 54m4n !23 වේ. එය සුරක්ෂිත මුරපදයකි.
එසේම ඔබගේ ෆේස්බුක්, ඊමේල්, ට්විටර් හෝ වෙනත් ගිණුමක් ඔබ වෙනුවෙන් වෙනත් අයෙක් විසින් සාදන ලද්දක් නම් ඔබේ ප්‍රෙද්ගලික විස්තර ඔහු හෝ ඇය සතුව තිබිය හැකිය. මෙය ද අවදානම් සහිත තත්ත්වයකි.
මේ අනුව මුර පදයක් යෙදීම ඔබේ සමාජ ජාල ගිණුම් සහ ඊමේල් ගිණුම් සුරක්ෂිත කර ගැනීම සඳහා මූලික උපක‍්‍රමයක් බව ඔබට වැටහෙනවා ඇත. මීට අමතරව ඇතැම් වෙබ් අඩවි තම ගිණුමේ සුරක්ෂිතතාව තහවුරු කළ හැකි මාර්ග දෙකක් ලබා දෙනු ලැබේ. මෙමගින් ඔබ ඔබේ  සමාජ ජාල ගිණුම් සහ ඊමේල් ගිණුම්වලට ඇතුළු වීමේදී ඔබේ ජංගම දුරකථනයට ඇමතුමක් හෝ කෙටි පණිවිඩයක් ලැබේ.මෙය ද සුරක්ෂිත ක‍්‍රමයකි. ඔබ පුරුද්දක් වශයෙන් පොදු පරිගණක ම`ගින් (එනම් විශ්වවිද්‍යාල ආදියේ ඇති සියල්ලන්ම භාවිත කරන පරිගණක* ඔබේ ගිණුම්වලට ඇතුල්වන්නේ නම් ඉහත ක‍්‍රමය අනුගමනය කිරීම සාර්ථකය. එසේම ඔබ සිහි තබා ගත යුතු කරුණක් තිබේ. එනම් එවැනි ස්ථානවල ඇති පරිගණකවලින්  ඔබ ඔබේ ගිණුමට ඇතුල් වූ පසුව ගිණුමෙන් ඉවත් වීමට වග බලා ගැනීමයි. එසේම කිසිදු අවස්ථාවක එවැනි පරිගණකවලින් හෝ ජංගම දුරකථනවලින් ගිණුමට ඇතුල් වූ පසුsave password යන්න නොදිය යුතුය.    එසේම යම් හෙයකින් ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුවහොත් එය සොයාගත් අයෙකුට ඔබේ ගිණුමට ඇතුල් විය හැකිය. එසේම ඔබ සමාජ මාධ්‍ය සහ ඊ මේල් ගිණූම් වලට පිවිසෙන අවස්ථාවේදී ඔබේ තොරතුරු ලබා ගැනීමට යම් යම් කෙටි පණිවිඩ ලැබිය හැකිය. මෙම ලින්ක් වලට ඔබ යෑමට පෙර එම වෙබ් අඩවියhttps යන හිසින් ඇත්දැයි බැලිය යුතුය. මන්ද නිවැරදි මුල් පිටුව එය බැවිනි. මෙමගින් ඔබ ගනුදෙනු කරන්නේ අදාළ නිවැරදි වෙබ් අඩවිය සමග ද යන්න ඔබට තහවුරු කරගත හැකිය.
ඔබ තවත් පරීක්ෂාකාරී විය යුතු දෙයක් වන්නේ ඔබේ ගිණුම් වල තොරතුරු ඉල්ලා ඔබට ලැබෙන ඊමේල් පණිවුඩ පිළිබඳවයි. එම පණිවුඩ ඔබට ලැබෙන්නේ විශ්වාස කළ හැකි මාර්ගයකින්දැයි තහවුරු කරගත යුතුය. මේ සඳහා ඉහත සඳහන් කළ ආකාරයට එය නිවැරදි සත්‍ය වෙබ් අඩවිය දැයි සොයා බැලිය හැකිය.මීට අමතරව සමහර වෙබ් පිටුවල ඉබියතුරක් දක්නට ඇත.එය දැකිය හැක්කේ ඔබ නිවැරදි වෙබ් පිටුවට පිවිසී ඇති විටය.
ෆේස්බුක් වැනි සමාජ ජාල වල නම් ඔබ ඔබට මිතුරු ඉල්ලීම් එවා ඇති සියළු දෙනා සොයා බැලීමකින් තොරව ඔබේ යහළුවන් බවට පත් කර ගැනීම නොකළ යුතුය.මන්ද ඇතැම් පුද්ගලයින් ව්‍යාජ ගිණුම් වලින් පෙනී සිටින බැවිනි. එම නිසා ඔබ නොදන්නා පුද්ගලයින් යහළුවන් කර ගැනීම කර ගැනීම අවදානම් සහගතය .ඇතැම් අවස්ථාවල දී එවැනි මිතුරු ඉල්ලීම් එවන අයගේ ගිණුම්වල පොදු යහළුවන් සිටිය හැකිය.එසේ සිටි පමණින් ඔවුන් විශ්වාස නොකළ යුතුය. ඇතැම් අය ප‍්‍රසිද්ධ පුද්ගලයින්ගේ පින්තූර භාවිත කරමින් ව්‍යාජ ගිණුම් සකසාගෙන ඇත. එවැනි අවස්ථාවලදී කල්පනාකාරීව කටයුතු කළ යුතුය.
එලෙස සකසා ඇති ව්‍යාජ ගිණුම් හදුනා ගැනීම අපහසුය. ඔබට එවා ඇති මිතුරු ඉල්ලීම් ගැන සොයා බැලීමේදී ඒවා ව්‍යාජ ගිණුම් ද නැද්ද යන්න සොයාගත හැකි සරල ආකාරයන් ඇත.මෙවැනි ව්‍යාජ ගිණුම් ඇති පුද්ගලයන්ට සාමාන්‍ය අයෙකුට සිටිය හැකි යැයි සිතීමට අපහසු මිතුරන් සංඛ්‍යාවක් සිටී . එසේම ඔවුන් බෙදා හරින බොහෝ පණිවුඩවල සාමාන්‍යයෙන් අප බලාපොරොත්තු නොවන, නැතිනම් අප‍්‍රසන්න දේවල් තිබිය හැකිය. එසේම ඔවුන්ගේ ගිණූම්වල ඇති බොහෝ තොරතුරු සීමා කිරීම්වලින් තොරව පොදු බවට පත් කර ඇති අතර ඔවුන්ගේ මිතුරු ලේඛනයේද ඇත්තේ එවන් ව්‍යාජ ගිණුම් රාශියක් වීමද විශේෂත්වයකි.
ඔබේ ගිණුම් සුරක්ෂිත කර ගැනීම සඳහා ඔබ ඔබේ පෞද්්ගලික තොරතුරු කිසිවෙකුට නොදීමට වගබලා ගත යුතුය. එසේම අදාළ වෙබ් අඩවි ම`ගින් ඔබේ තොරතුරු ආරක්ෂා කර දීම සඳහා ලබා දී ඇති උපරිම අවස්ථා භාවිත කළ යුතුය.  එසේම ඔබේ ගිණුම් වලට වෙනත් අයෙක් ඇතුළු වී ඇති බව ඔබට තහවුරු වුවහොත් ඒ බව (CERC) පරිගණක හදිසි ප‍්‍රතිකාර සංසදය වෙත දැනුම් දිය යුතුය.එසේම ඔබේ මුර පද ආදිය කිසිවෙකුට ලබා නොදිය යුතු අතර අන් අයට පෙනෙන ස්ථානවල ඒවා ලියා තැබිම ආදිය ද නොකළ යුතුය. ඔබ අන්තර්ජාල ක‍්‍රීඩා සඳහා එකතු වන අයෙක් නම් ඔබගේ මුර පද ආදිය ඉල්ලා සිටීමට හැකියාව ඇත. එම කී‍්‍රඩාවට ඇතුල් වීම සඳහා සුදුසුකමක් ලෙස ඒවා ඉල්ලා සිටියද ඒවා ලබා නොදීමට වග බලා ගත යුතුය.
කිසිදු අවස්ථාවක ඔබ නොදන්නා අන්තර්ජාල ලොතරැයි දිනුම් ඇදීම් සඳහා සහභාගී නොවිය යුතුය. මන්ද ඒවා ද එබේ පෞද්ගලික තොරතුරු විමසි සිටිය හැකි බැවිනි. ඒවා සම සම්බන්ධ වීමට පෙර ඒවා ව්‍යාජ නොවන බව තහවුරු කරගැනීම වැදගත් වේ. එසේම කිසිදු ආකාරයකට නිරුවත් හෝ අනාරක්ෂිත පින්තූර නොදැමිය යුතුය .මන්ද එවැනි පින්තූර ඔබ ඔබගේ ජංගම දුරකථනයෙන් ගත්තද ඒවා යම් අවස්ථාවක වෙනත් පුද්ගලයන් අතට පත් විය හැකි නිසාය.
එමෙන්ම ඔබද අන් අයගේ ගෞරවය හා පෞද්ගලිකත්වය ආරක්ෂා කළ යුතුය. වෙනත් අයෙකුගේ පින්තූර හෝ කිසිදු තොරතුරක් අදාළ පුද්ගලයාගේ අවසරයකින් තොරව නොදැමීමට හෝ කිසිවෙකුට ලබා නොදිය යුතුය.මෙවන් ක‍්‍රියාමාර්ග අනුගමනය කළහොත් කිසිවෙකුට නවමාධ්‍යයට හෝ අන්තර්ජාලයට වරද පැටවීමට සිදු වන්නේ නැත. වරද ඇත්තේ අප අතය. වරද අපගේ නොදැනුවත්භාවය සහ අන්‍යන්ගේ ගරුත්වයට අප ගරු නොකිරීමයි.එම නිසා තවදුරටත් ඔබ ආරක්ෂා වමට සහ අනෙකා ආරක්ෂා කිරීමට ද සිතිය යුතුයි. එසේම එවන් ක‍්‍රියාවන් පිළිබඳ වාර්තා වුවහොත් පරිගණක හදිසි ප‍්‍රතිකි‍්‍රයා සංසදය වෙත යොමු කිරිමට ද අමතක නොකළ යුතුය.
2016.07.05 වන දින කැලණිය විශ්වවිද්‍යාලයේ පරිගණක හදිසි ප‍්‍රතිකි‍්‍රයා සංසදයේ ජේ්‍ෂ්ට ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා කළ දේශනය ඇසුරිනි.
කලනි වැලිගම

No comments:

Post a Comment